Friday, July 1, 2016

පොඩ්ඩා ගේ වැට් පාඩම.

මේ දිනවල අපේ ගෙදර හැමෝගෙම ප්‍රශ්නය වී තිබෙන්නේ VAT ය.ආර්ථික විද්‍යාව කරන මටද මේ නිසා ගෙදර පිළිගැනීම මම මහබැංකු සභාපතිතුමාගේ උපදේශකයකු ගණනටය.ඒ හැමෝම VAT කියන්නේ මොකක්ද කියමින් මගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙති.මේ ගැන මුකුත් නොදන්නමුත් මම මට ලැබුන පිළිගැනීම නැතිකර ගන්නට සුදානම් නැත.මෙලෝ රසක් නැති වුනත් මම සල්ලි ඇමති හිරු යහපත්නායක තුමාගේ දේශනවලින් ටිකක් රුප පෙට්ටිය හරහා ඇහිඳ ගත් මා VAT කියන්නේ වටිනාකමේ අගය මත බදු අයකිරීමයි යනුවෙන් ගාම්බීර ලෙස පැවසීය.ගෙදර හැමදෙනාම හොල්මන්ය.තාත්තා පමණක් ඔලුව වැනුවාය.අනික් අය හැමෝම දේශපාලන නායකයන් කියන දේ අහගෙන ඉන්නා ජන්ද දායකයෝ වගේමය.කිසිදු විචාරයකින් තොරවම මගේ ප්‍රකාශය පිලිගත්බව දක්නට ලැබුණි.
ඊට පසු දින සේවය නිමවී නිවසට ආ තාත්තාට අම්මාගෙන් වාග්ප්‍රහාරයකි."ඔයා දෙන සල්ලි ටිකෙන් නම් කෑම කන්න නම් වෙන්නේ නෑ ලෙවකන්න තමයි වෙන්නේ".
"මොකක්ද අනේ ඔයාට මේ එකපාරටම මනි මේනියා රෝගය වත් හැදිලද?"
"මනි මේනියා? ...මනි මේනියා නෙමෙයි මේක වැට් මේනියා කඩේට ගියහම හැමබඩු වකම මිල ඉහල ගිහිල්ලා.මුදලාලිය කියන්නේ වැට් නෝනා වැට් කියලා.මම මුදලාලියටත් කිව්වා වැට් නෙවෙයි ඔහොම ගියොත් වැටෙයි හොදට අල්ලගන්න කියලා."
නිහඩවම කාමරයට ඇදුනු තාත්තා නැවත එලියට ආවේ රාත්‍රී ආහාරයටයි.
පසුදා සේවය නිමවී නිවසට එන තාත්තා කවදාවත් නැති තරමට ගෙදර ආවේ දුර සිටම ''පොඩ්ඩෝ මෙහෙවරෙන්'' කියාගෙනය.මගේ හදවත කීන් ගෑවේ පෙරේදා හවස class යන බව කියගොස් වල බැහැපු බවවත් දැනගෙනවත් කියාය.මම බයෙන් බයෙන් එලියට ආවෙමි.
"මොනවාද පොඩ්ඩෝ උඹ ඔය ඉස්කෝලවල ගිහින් ඉගෙන ගන්නේ."
"ඇයි තාත්තේ මොකක්ද ප්‍රශ්නේ ?'
"මොකක්ද උඹ එදා කිව්වේ VAT කියන්නේ වටිනාකමේ අගය මත බදු අයකිරීම කියලා නේද?"
"ඔව් තාත්තේ එක එහෙම තමයි"
"එහෙනම් කොහොමද බන් මම මේ හදිසියට පොදුවැසිකිලියට ගියාම එකේ හිටපු එකා VAT කියලා අමතර ගණනක් කඩා ගත්තේ.පොදුවැසිකිලියට පිට කරන ඒවායේ කොහෙදබන් වටිනාකමක්."
මගේ ආර්ථික විද්‍යාව එක තැනම ලොප් වුනාසේ දැනුනි.මමද හීන් සීරුවේම ගෙදර වැසිකිලිය වෙත ඇදුනෙමි.

No comments:

Post a Comment