Monday, August 26, 2019

නිවාඩුවට තැනක්

ගෙන්දගම් පොළවේ කර්කශ ජිවිතයෙන් හෙම්බත්ව, රාජකාරියත්, නිවසත් අතර දෝලනය වෙමින් සිටි අප, දියණියගේ විභාග කටයුතු අහවරවීමෙන් පසු විවේකයක් ගැන්මට තැනක් සොයමින් සිටියදී අහම්බෙන් මෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ ගිය අපට එය අප ලැබූ සුවිශේෂී ආශිර්වාදයක් බඳුවිය. එලෙසම අම්බලන්ගොඩ ජන්මය ලැබූ අප අම්බලන්ගොඩට උරුමකම් ඇති මෙවන් සුන්දර ස්ථාන පිළිබඳව මනා අවබෝධයකින් තොරවීම ගැන කණගාටුද සිතුනි. දකුණු වෙරළබඩ තීරයේ පිහිටි එය අපේ නිවාඩුවට අපමණ අගයක් එක්කල අතරම එතුලින් විඩාබර ශරීර කුඩුවට මෙන්ම මනසට ලබාදුන් සහනය මිනුම් දණ්ඩකට සීමාකළ නොහැක්කකි. කුරුදුගහ අධිවේගී හුවමාරුවෙන් නික්ම අම්බලන්ගොඩ - ඇල්පිටිය මාර්ගයේ 4 කි.මි. පමණ යනවිට කරන්දෙණිය පොලිසිය පසුකොට මීටර් 200ක් පමණ යනවිට හමුවන කැරෑව හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් 4.5 ක් පමණ ගියපසු මෙම සුන්දර පෙදෙසට පිවිසිය හැක. මාදු ගඟ පාරිසරික මධ්‍යස්ථානය පිහිටියේ එහිය. සුව පහසු වායු සමීකරණය කරනලද කාමර 04 කින් සමන්විත මෙහි භෝජනාගාරයක්,දේශන ශාලාවක් හා ඉතාමත් නිස්කලංක ආකර්ශනිය වටපිටවකින් යුක්තය. මාදු ගඟ පාරිසරික මධ්‍යස්ථානයට පිවිසුන අප දයාබරව හා ලෙන්ගතුව පිළිගත්තේ නලින් ප්‍රසන්න මහතාය. ඔහු හා එකතුව සිටි එහි කාර්ය මණ්ඩලයේ කමල් මල්ලි නොවන්නට අප මෙවන් සුන්දර ස්ථානයක් නිවාඩුව ගත කිරීමට තෝරා නොගනු ඇත. පස්දෙනෙකු පමණවන එහි කාර්ය මණ්ඩලය ඉතාමත් ආකර්ශනශීලි ගති පැවතුම් වලින් යුතුය. එය බොහෝ රාජ්‍ය ආයතන තුලින් දක්නට නොලැබෙන ගනයේ එකකි. ප්‍රදේශයේ ගම්වැසියන්ගේද නොමද ප්‍රසංශාවට ලක්ව ඇති මෙම ආයතනය මෙන්ම නලින් ප්‍රසන්න මහතාගේ ප්‍රජාමුළ සංවර්ධන කටයුතු මගින් ස්වේඡ්චාවෙන් ප්‍රදේශයේ ජනතාවට කෙරෙන අධ්‍යාපනික දැනුවත් කිරීම්හි අගය කියා නිමකල නොහැක.
රාත්‍රී 07ට පමණ මෙම ස්ථානයට ලංවූ අප ඉතාමත් රසවත් ආහාර්වෙලකින් පසු සුව පහසු නින්දක් ලැබ පසුදින අලුයම මාදු ගඟ සංචාරය ඇරබුවෙමු. අපේ මාර්ගදේශකයා කමල් මල්ලිය. ඔහු හරියට සිංහරාජයේ මාටින් විජේසිංහ බඳුය. මාදු ගඟේ සැම ඉසව්වක්ම මෙන්ම කඩොලාන,සතා සීපාවා ගැනද බොහෝ ඇසුපිරු තැනැත්තෙකි.
සැබෑවටම එය සොබාව ධර්මයාගේ සුවිශේෂී නිර්මාණයකි. මාදු ගඟ ලෙස සැලකුවද සැබවින්ම එය කලපුවකි. මෙම කලපුව සුන්දර කරන දුපත් රාශියකින් සමන්විතය. ඒවා අතර කොත්දූව, මාදූව, මෙ‍මා දූව, හොන්දූව, දිමිදූව, නයි දූව, මුවන් දූව, දක්දූව,මේරල දූව, ගල්මන් දූව, කටුදූව, මදදූව, ගෝනදූව,තිනිය දූව හා මෙහි කුඩාම දුපත වන සත පහක හැඩයෙන් යුත් සත පහ දුපතද වෙයි. මේ අතරින් කොත්දුව සුවිශේෂී වන්නේ කොත්දුව රජමහ විහාරය නිසාවෙනි. ජනප්‍රවාදයන්ට අනුව හේමමාලා දන්ත කුමරු දන්ත ධාතුන් රැගෙන ගොඩබට ස්ථානය ත්‍රිකුණාමලය නොව මෙම ස්ථානය ලෙස ජනගතව ඇත. කෙසේ නමුත් වනගතව තිබු මෙම ස්ථානය පරාක්‍රමබාහු රජුගේ සෙනෙවියකුවන දේවපතිරාජ සෙනෙවියා විසින් පසුකාලීනව ගොඩනැගු බවද සඳහන්ය. මෙහි රෝපිත බෝධීන් වහන්සේ නම් ඉතාමත් පැරණි බව නම් පැහැදිලිවම දක්නට ඇත. එලෙසම එය පිහිටීම අතින් ඉතාමත් සුන්දරය.මාදු ගඟ වටා පිහිටා ඇති කලපු බොහෝ කඩොලාන වලින්පොහොසත්ය. පරිසරයට සරිලන ලෙස විශේෂිතව හැඩ ගැසී වර්ධනය වී ඇති මෙම කඩොලාන මුහුදු ජලය මිශ්‍ර ජලයේ හෝ කිවුල් ජලයේ වර්ධනය විය හැක. ලංකාවටම ආවේනික වූ එලෙසම මාදු ගඟෙහි ම පමණක් දැකිය හැකි රථ මිල්ල Lumnitzeralitttorea ශාකය විශේෂ වැදගත් කමක් ගනී.මෙම කලපු ආශ්‍රිතව කුඩා මත්ස්‍යයින්, ඉස්සන් වැනි බොහෝ ජලජ ජීවින් දැකගත හැක. උමගක් තුලින් යන්නාක්මෙන් මාදු ගඟේ කඩොලාන අතරින් යන බෝට්ටු සවාරිය හරිම විනෝද ජනකය. මෙම සවාරියේ හිදී මඩු ගඟේ පාවෙන බිමහලට ගොඩවී රසවත් කිරල බිම වීදුරුවක් රස විදින්නද අප අමතක නොකළෙමු. එලෙසම මාළුන් යොදාගෙන කෙරෙන දෙපා සම්බාහනයද හොද අත්දැකීමකි. මෙවන් බොහෝ සුන්දර වටපිටාවකින් යුත් රටක ජිවත් වීමට ලැබීම අපලද භාග්‍යයකි.


No comments:

Post a Comment